චක්කවත්තිරාජ සුත්‍රය (සෝවාන් වීම)
එක්සමයෙක්හි බුදුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
බුදුන් වහන්සේ : ආර්ය ශ්‍රාවකයෙනි,
- හුදෙක් සක්විති රජතෙම සතර මහාද්වීපයට අධිපති වූ, රාජ්‍යය කරවා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදියිද
- තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණෙයිද
- ඒ සක්විති රජතෙම ඒ දෙව්ලොවදී දෙවඟනන් විසින් පිරිවරන ලද්දේ දිව්‍යමය වූ පඤ්චකාම ගුණයෙන් සම්පූර්ණවූයේ යුක්තවූයේ ඉන්ද්‍රියයන් පිනවයිද
- එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ නොවෙයි
- එහෙයින් ඒ සක්විති රජ තෙම වනාහි නිරයෙන් නො මිදුනේම වෙයි
- තිරිසන් යෝනියෙන් නො මිදුණේම වෙයි
- ප්‍රේත විෂයෙන් නොමිදුණේම වෙයි
- නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපායෙන් නො මිදුණේ වෙයි
බුදුන් වහන්සේ : ආර්ය ශ්‍රාවකයෙනි,
- හුදෙක් ආර්ය ශ්‍රාවක තෙම පිණ්ඩපාතයෙන් යැපෙයිද
- කඩරෙදි දරයිද
- එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ වෙයි
- එහෙයින් ඒ ආර්ය ශ්‍රාවක තෙම වනාහි නිරයෙන් මිදුණේ වෙයි
- තිරිසන් යෝනියෙන් මිදුණේ වෙයි
- ප්‍රේත විෂයෙන් මිදුණේ වෙයි
- නපුරු ගති ඇති, විසමවූ වැටීම් ඇති අපායෙන් මිදුණේ වෙයි
බුදුන් වහන්සේ : කවර සතරකින්ද ආර්ය ශ්‍රාවකයෙනි ?
1. බුදු ගුණ
- ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක
- සම්‍යක් සම්බුද්ධ වනසේක
- විජ්ජාචරණ සම්පන්න වන සේක
- සුගත වන සේක
- ලෝකවිදූ වන සේක
- අනුත්තර පුරිසදම්මසාරථි වන සේක
- දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක
- චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක
- භාග්‍යවත් වන සේකැයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද
2. ධර්මයේ ගුණ
- ධර්මය තෙම බුදුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය
- මේ ආත්මයෙහිම දෙන ඵල ඇත්තේය
- කල් නොයවා විපාක දෙන්නේය
- එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය
- තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය
- නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි
- මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද
3. සංඝයාගේ ගුණ
- භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය
- ඍජුව පිළිපන්නේය
- නිවනට සුදුසුව පිළිපන්නේය
- ගරුබුහුමනට යෝග්‍යව පිළිපන්නේය
- යම් මේ පුරිස යුග සතරක් වෙත්ද
- පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද
- මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය
- තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය
- කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක
- වැඳීමට සුදුසු වූයේය
- ලෝකයාගේ උතුම් පින් කෙතය
- මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද
4. ආර්යකාන්ත සීලය
- නොකැඩුනාවූ
- සිදුරු නොවූ
- කබර නොවූ
- කැළල් නොවූ
- නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ
- තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ
- සමාධිය පිණිස පවතින්නාවූ
- ආර්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද
බුදුන් වහන්සේ : ආර්ය ශ්‍රාවකයෙනි,
- යම් සතර මහා දිවයින (සක්විති රජකම) ලැබීමක් වේද
- යම් ධර්ම සතරක් ලැබීමක් වේද
- ඒ සතර මහා දිවයින ලැබීම,මේ ධර්ම සතර ලැබීමෙන් සොළොස් කලාවෙන් කලාවකුදු නොවටීයි !
සංයුත්ත නිකාය ==> මහා වග්ග පාළි ==> සොතාපත්ති සංයුත්තය ==> වේළුද්වාර වර්ගය ==> චක්කවත්තිරාජ සූත්‍රය
මුල් සූත්‍රය : චක්කවත්තිරාජ සූත්‍රය
No comments:
Post a Comment