සියලු දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ !

Sunday, March 6, 2016

ඔඝ සූත්‍රය




ඔඝ සූත්‍රය


එක් කලෙක බුදුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණය ඇත්තේ, සියලු ජේතවනය බබුලුවා බුදුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ බුදුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

දෙවියන්  : නිදුකාණන් වහන්ස, කෙසේනම් ඔබ සංසාර සාගරය පිහිනා ගොඩ වූවෝද ?


බුදුන් වහන්සේ  : ඇවැත්නි මම පිහිටාද නොසිට, පැදීමද නොකොට, පිහිනා එතර වූයෙමි.


දෙවියන්  : නිදුකානි ඔබ කෙසේනම් පිහිටාද නොසිට, පැදීම්ද නොකොට සංසාර සාගරය තරණය කළෝද ?


බුදුන් වහන්සේ  : ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමියි. ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට, නොපැද සංසාර සාගරය එතෙර කළෙමි.


දෙවියන්  : පිහිටා සිටීමත් නොකොට, පැදීමත් නොකොට, ලෝකයෙහි තන්හාව එතර කළාවූ, එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ උත්තමයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි.

බුදුන් වහන්සේ  : මම එය අනුමත කරමි.   


ඒ දෙවිතෙම බුදුන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව බුදුන් වහන්සේ වැඳ පැදකුනුකොට අතුරුදහන්විය.


සංයුත්ත නිකාය   ==>     සගාථ වර්ගය   ==>  දෙවතා සංයූත්තය ==>  නළ වර්‍ගය   

මුල් සුත්රය  : ඔඝ සූත්‍රය 

No comments:

Post a Comment