සියලු දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ !

Sunday, March 27, 2016

දීඝාවූ උපාසක සූත්රය




දීඝාවූ උපාසක සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප 
නම්ලත් උණවනයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති දීඝාවූ උපාසක තෙම පියාවන ජොතික නම් ගෘහපතියාහට කථාකොට මෙසේ කීය.

දීඝාවූ :
ගෘහපතිය, ඔබ මෙහි එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව. ගොස් ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකටපත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් සිරසින් වඳීයයිකියා මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදය සිරසින් වඳිනු මැනවි. වැඳ මෙසේත් කියන්න. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක් නම් හොඳයකියායි.

ජොතිය ගෘහපතිතෙම :

දරුව එසේයයි. 

භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ජොතිය ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. 

ජොතිය ගෘහපතිතෙම :
ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. 'ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක්නම් හොඳයකියායි.

භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාත්‍ර සිවුරු ගෙන, දීඝාවූ උපාසකයාගේ ගෙදර යම්තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද ආසනයෙහි වැඩ සිටිසේක. වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මෙය වදාළසේක.

 
බුදුන් වහන්සේ  :
කිම, දීඝාවූ, නුඹට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද? කිම, දුක් වේදනාවෝ සංසිඳෙත්ද? නොවැඩෙත්ද? සංසිඳෙන බවක් පෙනේද? වැඩෙන බවක් නොපෙනේද?

දීඝාවූ :
ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ බලවත්වූ දුක් වේදනාවෝ නොසංසිඳෙත්. වැඩෙන බව පෙනෙත්. සංසිඳෙන බවක් නොපෙනේය.


බුදුන් වහන්සේ  : 
දීඝාවූ, එසේ නම් මෙහිදී නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.


1.  බුදු ගුණ
  • ඒ  භාග්‍යවතුන්  වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක
  • සම්‍යක් සම්බුද්ධ වනසේක
  • විජ්ජාචරණ සම්පන්න වන සේක
  • සුගත වන සේක
  • ලෝකවිදූ වන සේක
  • අනුත්තර පුරිසදම්මසාරථි වන සේක
  • දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක
  • චතුරාර්ය සත්‍යය  අවබෝධ  කළ සේක
  • භාග්‍යවත් වන සේකැයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද

2.  ධර්මයේ ගුණ
  • ධර්මය තෙම බුදුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය
  • මේ ආත්මයෙහිම දෙන ඵල ඇත්තේය
  • කල් නොයවා විපාක දෙන්නේය
  • එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය
  • තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය
  • නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි
  • මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද

3.  සංඝයාගේ ගුණ
  • භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය
  • ඍජුව පිළිපන්නේය
  • නිවනට සුදුසුව පිළිපන්නේය
  • ගරුබුහුමනට යෝග්‍යව පිළිපන්නේය
  • යම් මේ පුරිස යුග සතරක් වෙත්ද
  • පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද
  • මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය
  • තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය
  • කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක
  • වැඳීමට සුදුසු වූයේය
  • ලෝකයාගේ උතුම් පින් කෙතය
  • මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද

4.  ආර්යකාන්ත සීලය
  • නොකැඩුනාවූ
  • සිදුරු නොවූ
  • කබර නොවූ
  • කැළල් නොවූ
  • නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ
  • තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ
  • සමාධිය පිණිස පවතින්නාවූ
  • ආර්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද



දීඝාවූ :
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සෝතාපත්තියංග ධර්ම සතරක් දේශනා කරන ලද්දාහුද ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. ඒ ධර්මයන්හි මම දකිනු ලබමි. 


බුදුන් වහන්සේ :
දීඝාවූ, එසේනම් මෙහිදී ඔබ මේ සතර සෝතාපත්ති අංගයන්හි පිහිටා, මතු හය වැදෑරුම් විජ්ජාභාගීය ධර්මයන් වඩන්න. දීඝාවූ, ඔබ මෙහිදී

1. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින්
2. අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව
3. දුකෙහි අනාත්ම සංඥාව ඇතිව
4. පහාණ සංඥාව ඇතිව
5. විරාග සංඥාව ඇතිව
6. නිරෝධ සංඥාව ඇතිව, වාසය කරන්න

 දීඝාවූ මෙසේ වනාහි ඔබ විසින් හික්මිය යුතුවන්නේය.

දීඝාවූ :
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් මේ විජ්ජාභාගීය ධර්මයෝ සය දෙනෙක් දේශනා කරන ලද්දාහුද, ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. මම ඒ ධර්මයන්හි දකිනු ලබමි. ස්වාමීනි, එතකුදුවුවත් මට මෙසේ සිතේ. මේ ජොතිය ගෘහපතිතෙම මාගේ මරණයෙන් පසු දුකට පත් නොවේවායි කියායි.


බුදුන් වහන්සේ  :
දරුව, දීඝාවූඔබ එසේ නොසිතන්න. දරුව දීඝාවූ, යමක් භාග්‍යවතුන්වහන්සේ වදාළේනම් ඔබ එයම මනාකොට මෙනෙහි කරන්න.

 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මේ අවවාදයෙන් අවවාදකොට හුනස්නෙන් නැඟිට වැඩිසේක ඉක්බිති දීඝාවූ උපාසකතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් කළුරිය කෙළේය.

එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.


භික්ෂූහු :
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටි අවවාදයකින් අවවාද කරන ලද්දාවූ යම් ඒ දීඝාවූ නම් උපාසකයෙක් වූයේද, හෙතෙම කළුරිය කෙළේය. ඔහුට කිනම් ගතියක්වීද, පරලොව කුමක්ද? 


 බුදුන් වහන්සේ :
මහණෙනි, දීඝාවූ උපාසකතෙම පණ්ඩිතයෙක් විය,ලෝකෝත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපැද්දේය. ධර්මාවබෝධය කරුණුකොට මා නොවෙහෙසවිය. දීඝාවූ උපාසකතෙම ඔරම්භාගීය සංයොජන පස ක්ෂය කිරීමෙන් ඒ බඹලොව පිරිනිවෙන්නාවූ, ඒ ලෝකයෙන් නැවත ආපසු නොඑන්නාවූ, ඔපපාතිකයෙක් වන්නේයයි !


සංයුත්ත නිකාය ==> මහා වග්ග පාළි ==> සොතාපත්ති සංයුත්තය ==> වේළුද්වාර වර්ගය ==> ආබාධික දීඝාවූ සූත්‍රය

මුල් සූත්‍රය  : ආබාධික දීඝාවූ සූත්‍රය



Sunday, March 20, 2016

චක්කවත්තිරාජ සුත්‍රය (සෝවාන් වීම)




චක්කවත්තිරාජ සුත්‍රය (සෝවාන් වීම)

එක්සමයෙක්හි  බුදුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. 

බුදුන් වහන්සේ  : ආර්ය ශ්‍රාවකයෙනි

  • හුදෙක් සක්විති රජතෙම සතර මහාද්වීපයට අධිපති වූ, රාජ්‍යය කරවා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදියිද
  • තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණෙයිද
  • ඒ සක්විති රජතෙම ඒ දෙව්ලොවදී දෙවඟනන් විසින් පිරිවරන ලද්දේ දිව්‍යමය වූ පඤ්චකාම ගුණයෙන් සම්පූර්ණවූයේ යුක්තවූයේ ඉන්ද්‍රියයන් පිනවයිද
  • එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ නොවෙයි
  • එහෙයින් ඒ සක්විති රජ තෙම වනාහි නිරයෙන් නො මිදුනේම වෙයි
  • තිරිසන් යෝනියෙන් නො මිදුණේම වෙයි
  • ප්‍රේත විෂයෙන් නොමිදුණේම වෙයි
  • නපුරු ගති ඇති, විසම වැටීම් ඇති අපායෙන් නො මිදුණේ වෙයි

බුදුන් වහන්සේ  : ආර්ය ශ්‍රාවකයෙනි
  • හුදෙක් ආර්ය ශ්‍රාවක තෙම පිණ්ඩපාතයෙන් යැපෙයිද
  • කඩරෙදි දරයිද
  • එහෙත් හෙතෙම ධර්ම සතරකින් යුක්තවූයේ වෙයි
  • එහෙයින් ඒ ආර්ය ශ්‍රාවක තෙම වනාහි නිරයෙන් මිදුණේ වෙයි 
  • තිරිසන් යෝනියෙන් මිදුණේ වෙයි
  • ප්‍රේත විෂයෙන් මිදුණේ වෙයි
  • නපුරු ගති ඇති, විසමවූ වැටීම් ඇති අපායෙන් මිදුණේ වෙයි

බුදුන් වහන්සේ  : කවර සතරකින්ද ආර්ය ශ්‍රාවකයෙනි ? 

1.  බුදු ගුණ
  • ඒ  භාග්‍යවතුන්  වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක
  • සම්‍යක් සම්බුද්ධ වනසේක
  • විජ්ජාචරණ සම්පන්න වන සේක
  • සුගත වන සේක
  • ලෝකවිදූ වන සේක
  • අනුත්තර පුරිසදම්මසාරථි වන සේක
  • දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක
  • චතුරාර්ය සත්‍යය  අවබෝධ  කළ සේක
  • භාග්‍යවත් වන සේකැයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද

2.  ධර්මයේ ගුණ
  • ධර්මය තෙම බුදුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය
  • මේ ආත්මයෙහිම දෙන ඵල ඇත්තේය
  • කල් නොයවා විපාක දෙන්නේය
  • එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය
  • තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය
  • නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි
  • මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද

3.  සංඝයාගේ ගුණ
  • භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය
  • ඍජුව පිළිපන්නේය
  • නිවනට සුදුසුව පිළිපන්නේය
  • ගරුබුහුමනට යෝග්‍යව පිළිපන්නේය
  • යම් මේ පුරිස යුග සතරක් වෙත්ද
  • පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද
  • මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය
  • තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය
  • කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක
  • වැඳීමට සුදුසු වූයේය
  • ලෝකයාගේ උතුම් පින් කෙතය
  • මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද

4.  ආර්යකාන්ත සීලය
  • නොකැඩුනාවූ
  • සිදුරු නොවූ
  • කබර නොවූ
  • කැළල් නොවූ
  • නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ
  • තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ
  • සමාධිය පිණිස පවතින්නාවූ
  • ආර්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද

බුදුන් වහන්සේ  : ආර්ය ශ්‍රාවකයෙනි,
  • යම් සතර මහා දිවයින (සක්විති රජකම) ලැබීමක් වේද
  • යම් ධර්ම සතරක් ලැබීමක් වේද
  • ඒ සතර මහා දිවයින ලැබීම,මේ ධර්ම සතර ලැබීමෙන් සොළොස් කලාවෙන් කලාවකුදු නොවටීයි ! 

සංයුත්ත නිකාය ==> මහා වග්ග පාළි ==> සොතාපත්ති සංයුත්තය ==> වේළුද්වාර වර්ගය ==> චක්කවත්තිරාජ සූත්‍රය

මුල් සූත්‍රය  :  චක්කවත්තිරාජ සූත්‍රය

Sunday, March 6, 2016

ඔඝ සූත්‍රය




ඔඝ සූත්‍රය


එක් කලෙක බුදුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණය ඇත්තේ, සියලු ජේතවනය බබුලුවා බුදුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ බුදුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

දෙවියන්  : නිදුකාණන් වහන්ස, කෙසේනම් ඔබ සංසාර සාගරය පිහිනා ගොඩ වූවෝද ?


බුදුන් වහන්සේ  : ඇවැත්නි මම පිහිටාද නොසිට, පැදීමද නොකොට, පිහිනා එතර වූයෙමි.


දෙවියන්  : නිදුකානි ඔබ කෙසේනම් පිහිටාද නොසිට, පැදීම්ද නොකොට සංසාර සාගරය තරණය කළෝද ?


බුදුන් වහන්සේ  : ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමියි. ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට, නොපැද සංසාර සාගරය එතෙර කළෙමි.


දෙවියන්  : පිහිටා සිටීමත් නොකොට, පැදීමත් නොකොට, ලෝකයෙහි තන්හාව එතර කළාවූ, එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ උත්තමයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි.

බුදුන් වහන්සේ  : මම එය අනුමත කරමි.   


ඒ දෙවිතෙම බුදුන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව බුදුන් වහන්සේ වැඳ පැදකුනුකොට අතුරුදහන්විය.


සංයුත්ත නිකාය   ==>     සගාථ වර්ගය   ==>  දෙවතා සංයූත්තය ==>  නළ වර්‍ගය   

මුල් සුත්රය  : ඔඝ සූත්‍රය